මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර තෝංචියක් නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම පටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළුටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.
අඩි කිහිපයක් ඉදිරියට ගමන් කළ මා දුටුවේ වැස්සෙන් තෙත භරිත වූ මුදල් පසුම්බියක් හා ජැකට්‍ටුවකි. නැමී එය අතට ගත් මට එහි නිෂ්පාදන වර්ෂය පෙනුණි. පුදුමයකි!!! එය වසර සියයකට පමණ පෙර නිෂ්පාදනය කරවන ලද්දකි. මුදල් පසුම්බියේ ද මුදල් නෝට්‍ටු කිහිපයක් විය. ඒවාද වත්මන් මුදන් නෝට්‍ටු නොවීය. මම එහි වූ ලිපිනය බැලුවෙමි. එ වන් ස්ථානයක් මා නොදන්නා බැවින් පසුම්බිය හා ජැකට්‍ටුව පසු දින පොලීසියට භාර දීමට නිවසට ගෙන ගියෙමි.
වර්ෂාවෙන් තෙත භරිත වූ මට දැඩි වෙහෙසක් දැනුණි. මා නොදැනුවත්වම නින්දට වට්ටන ලදි.
මිනිසෙක් අත වනයි. ඔහු අත කිනිස්සකි. මා දෙසට මුදල් විසි කරන ඔහු කිනිස්ස මා දෙසට එල්ලකරයි. ඔහුගේ ජැකට්‍ටුවෙන් මා වසා දමයි.
මම වහා නැගිට්ටෙමි. සිහිනයකි, මා දැක ඇත්තේ. පසුදින සේවා ස්ථානයට යාමට ප්‍රමාද වූ බැවින් පෙරකී ජැකට්‍ටුව හා පසුම්බිය නොගෙන ගියෙමි. දින දෙකක වැඩ නිම වී පත්තරය ද රැගෙන එන මට දිස් වූ යේ මා නිවසේ තබා ආ පසුම්බිය හා ජැකට්‍ටුව පෙර දින තිබූ ස්ථානයේ ම තිබෙණ බව යි.
ඉක්මන් පියවරින් නිවසට පැමිණි මම පුදුම වීමි. නිවස වටා මිනිස්සු රොක් වී සිටිති. මම වහා නිවසට වැද ගත්තෙමි. මා සුදු ඇදුමින් සරසා ඇත. මට කිසිවක් අවබෝධ නොවීය. සේවා ස්ථානයේ යම්ම පුද්ගලයෙක්වත් මා හා කතාවට නාවේ ය. එය මට සිහි විය. මා අත ගැසෙන්නා සේ මට දැනුණි. මා අත වූ පත්තරය මා අතින් ගිලිහී ගියේ ය. එහි වූ ප්‍රධාන ප්‍රවෘත්තිය මා සිත දෙවනත් කළේ ය.
"එලොව මිනීමරුවා, වසර සියයකට පසු මෙලොවට. තවත් බිල්ලක්.!!!"

Comments
Post a Comment